සුවය

දියවැඩියාව ගැන ඔබ දැනගත යුතුම දේ

දියවැඩියාව (Diabetes) යනු පුද්ගලයකුගේ රුධිරයේ සීනි මට්ටම සාමාන්‍ය මට්ටමට වඩා දීර්ඝ කාලීනව පැවතිමයි. මෙසේ වීමට ප්‍රධාන හේතුව වනුවේ අප රුධිරයේ සීනි මට්ටම පාලනය කරනු ලබන හෝමෝනය වන ඉන්සියුලින් නිෂ්පාදනය අඩාලවීම හෝ එහි ක්‍රියාකාරිත්වය අඩාලවීමයි. ඉන්සියුලින් මගින් රුධිරයේ සීනි පටකවලට ඇතුළත් කරමින් රුධිරයේ සීනි අඩු කරනු ලැබේ.
මෙම ඉන්සුලින් නිපදවනු ලබන්නේ අප ශරීරයේ අන්තරාසර්ග ග්‍රන්තියක් වන අගන්‍යාශය මගිනි. විවිධ වර්ගයන්හි දියවැඩියාවලදී මෙම ග්‍රන්තියේ හෝමෝන නිපදවීම අඩාල වේ.

දියවැඩියාව රෝගය බෝ නොවන රෝග යටතට ගැනෙන ප්‍රධාන රෝගයක් වන අතර එය දැනට ලොව පුරා වසංගත රෝගී තත්ත්වයක් බවට පත් වෙමින් පවතී. දැනට පවතින සමීක්ෂණ වාර්තා අනුව ලොව පුරා ජනගහනයෙන් මිලියන 415 පමණ මෙම රෝගයට ගොදුරු වී ඇත. ශ්‍රී ලංකාවේ දියවැඩියා ප්‍රවණතාව 10%ක් බව සනාථ වී ඇත. සෑම දසදෙනෙකුටම කෙනෙක් දියවඩියා රෝගයට ගොදුරුවීමේ අවදානමක් පවතී. මෙය සම්පූර්ණයෙන් සුව කළ නොහැකි වුව ද පාලනය කළ හැකි තත්ත්වයකි. එසේම පාලනයක් සහිත පුද්ගලයන්ට සාමාන්‍ය මිනිසෙකු ලෙස ජීවත් විය හැකිය. දියවැඩියාව වැලඳුණු පසු පාලනයට වඩා රෝගයෙන් වැළකීම වැදගත් වේ.

ඒ සඳහා දියවැඩියාව රෝගයට බලපාන සාධක (Risk Factors) හඳුනාගැනීම වැදගත් වේ.

■ අධික තරබාරු බව
■ අහාර පුරුදු
■ අඩු ක්‍රියාකාරී ජීවන රටාව
■ පරම්පරාවෙන්, ජාන මගින්
■ ගර්භණී අවස්ථා
■ දකුණු ආසියාතික සම්භවය
■ ඇතැම් ඖෂධ වර්ග
■ දැඩි මානසික ආතතිය
■ නොයෙක් විරල හොර්මොන වැඩිවීම නිසා
■ අධික මත්පැන් භාවිතය
මේවා බොහෝවිට පාලනය කරගත හැකි සාධක වේ.

දියවැඩියාව ප්‍රධාන වර්ග කිහිපයකි

■ පළමු වර්ගයේ දියවැඩියාව (Type 1 Diabetes)
■ දෙවන වර්ගයේ දියවැඩියාව (Type 2 Diabetes)
■ ගර්භණී අවස්ථාවේ ඇතිවන දියවැඩියාව (Gestational Diabetes)
■ වෙනත් වර්ගවල දියවැඩියාව
ඉහත දියවැඩියා වර්ග වයස, ශරීරයේ බර, පරම්පරාවේ දියවැඩියාව, ප්‍රතිශක්තිකරණ පද්ධතියේ සංකූලතා අනුව විවිධ වේ. උදාහරණයක් ලෙස අඩු වයස් කාණ්ඩයක සිහින් සිරුරැති පුද්ගලයෙක් බොහෝවිට පළමු වර්ගයේ දියවැඩියාවෙන් පෙළීමට බොහෝ ඉඩකඩ ඇත.

ඔබට දියවැඩියාව වැලඳී ඇතිබව දැනගත හැකි වන රෝගී ලක්ෂණ වනුයේ, (Symptoms)

■ අධිකව මුත්‍ර පිට කිරීම
■ දැඩි පිපාසය
■ සිරුරේ බර අනවශ්‍ය ලෙස අඩුවීම
■ අසාදනවලට නිතර ගොදුරුවීම (උදාහරණ ලෙස මුත්‍ර අසාදන)

ඔබට මෙවැනි රෝග ලක්ෂණ පවතී නම් ඔබගේ රුධිරයේ සීනි මට්ටම බලාගැනීම වැදගත්වේ. ඒ සඳහා පැය 8ක් නිරාහාරව කරනු ලබන පරීක්ෂණය, ග්ලුකෝස් 75ටක් පානය කර පැය දෙකකින් කරනු ලබන පරීක්ෂණය සහ රුධිරයේ මස තුනක් සීනි පරික්ෂා කිරිමේ පරීක්ෂණය කළ හැකිය.
මේවයේ දත්ත අනුව දියවැඩියාව සහ පූර්ව දියවැඩියාව (Pre diabetes) හඳුනාගනු ලැබේ. එමෙන්ම ශරීරයේ මේද මට්ටම සහ රුධිර පීඩනය පරීක්ෂා කරීම වැදගත් වේ.
රුධිරයේ සීනි මට්ටම වැඩිවීම අපගේ ශරීරයේ සෑම අවයවකටම බලපෑම් ඇති කරයි. මේවා දියවැඩියාව නිසා ඇතිවන සංකූලතා (complications) ලෙස හදුන්වනු ලැබේ. ඔබගේ වකුගඩු පද්ධතියට, ඇස්, ස්නායු, හදවත් රෝගවලට, පාදවලට අධික සීනි මට්ටමින් බලපෑම් ඇති වේ. ඇතැම් විට පාද අහිමිවීම පවා සිදුවිය හැකිය.
නිසි පරිදි පාලනය කරනු ලබන රෝගය මෙම අවයවවලට සිදුවන හානිය අවම කරයි.
දියවැඩියාව පාලනයට විවිධ ප්‍රතිකාර පවතී. එය රුධිරයේ සීනි මට්ටම මෙන්ම සංකූලතාවලට බලපාන අනෙකුත් සාධක පාලනයට සැකසී ඇත. ඒ අතරින් හොඳ අාහාර පුරුදු, ක්‍රියාකාරී ජීවන රටාව වැදගත් වේ.
තව ද ඒ සඳහා භාවිත කරන ඖෂධ වර්ග දෙකකි.

ඖෂධ පෙති සහ එන්නත්.

මෙම වර්ග තීරණය කරනු ලබන්නේ ඔබගේ රුධිරයේ සීනි මට්ටම, සහ සංකූලතා අනුව ය.
ජීවන රටාවේ වෙනස්කම් මගින් දියවැඩියාව පාලනය එතරම් අසීරු නොවේ. දියවැඩියාව පාලනය මගින් ඔබට ප්‍රීතිමත් ජීවිතයක් ගත කළ හැකිය.


විශේෂඥ වෛද්‍ය උදිත බුලුගහපිටිය (MBBS, MD, MRCP, FRCP, FCCP, FACE, FSLCE)
(දියවැඩියා සහ අන්තරාසර්ග විශේෂඥ,
දියවැඩියා සහ අන්තරාසර්ග ඒකකය,
දකුණු කොළඹ ශික්ෂණ රෝහල)

සටහන –
වෛද්‍ය වින්ද්‍යා වෙල්ලාල MBBS,MD

Senior Registrar – දියවැඩිය සහ අන්තරාසර්ග ඒකකය
දකුණු කොළඹ ශික්ෂණ රෝහල

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close
%d bloggers like this: